- අපි මීළඟට සවාරියක් තුළින් සොයාගෙන ගියේ ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතිමතුන් මහත් පාරිශුද්ධත්වයෙන්,භක්තියෙන් වන්දනා මාන කරනු ලබන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩවන් උතුම් පුදබිමක් පිළිබඳවයි.ඒ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී පාදස්ථානයයි.ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියකි.කේතු හැඩැති කන්දක් ලෙස හඳුනාගත හැකිය.සප්ත කන්‍යා නම් කඳු 7 කින් වට වූ ශ්‍රී පාදස්ථානය සොබා දහමේ අපූරු නිර්මාණයකි.
සප්ත කන්‍යා කඳු වැටිය |
- ශ්‍රී පාදස්ථානයේ උසම ස්ථානයේ උස 2215 m ක් පමණ වන අතර මෙහි සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ.සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ 5000 mm ක් පමණ වන අතර නිරිතදිග මෝසම තුළ වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ.වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15 කි.
ශ්‍රී පාදස්ථානය |
- කාලගුණික වශයෙන් බාධා අඩු නිසා ශ්‍රී පාද වන්දනා සමය උදුවප් පොහොයෙන් ආරම්භ වන අතර එය වෙසක් පොහොයෙන් අවසන් වේ.සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වන දිනය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.
- ශ්‍රී පාද පද්මය පිහිටුවීම පිළිබඳ කතා පුවත මේ ආකාරයෙන් දැක්විය හැකිය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ කැලණියේ නාග රජුගේ ආරාධනයෙනි.ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතිමතුන්ගේ වන්දනීයත්වය උදෙසා ශ්‍රී පාද ස්පර්ශය පිහිටුවන මෙන් සමන් දෙවිඳු බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට ඇත.එය පිළිගත් බුදුරජාණන් වහන්සේ සමනොළ කඳු පාමුල චක්‍ර ලකුණෙන් බබලන ඉන්ද්‍රනීල මාණික්‍ය මත සිරි පතුල පිහිටවනු ලැබීය.මෙය දෙවියන්ගේ ද මිනිස්සුන්ගේද වන්දනා මානයට පාත්‍ර වන පිං කෙතකි.විවිධ ආගමික මතිමතාන්තර අනුව ඔවුන්ගේ ශාස්තෘවරයන්ගේ පා සලකුණ මෙහි පිහිටුවා ඇති බව සඳහන් වුවත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුවන බවට ඔවුන්ගේ වසර 2500 කට අධික ලිඛිත ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව තහවුරු වේ.
- ශ්‍රී පාද සමය ආරම්භ වන්නේ ඊට අනුකූලව විචිත්‍රවත් චාරිත්‍ර ඉටු කරමිනි.ශ්‍රී පාද සමයේ ආරම්භය සනිටුහන් වන්නේ පැල්මඩුල්ලාවෙල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහර වැඩම කරවමිනි.සිරිපාද මළුවේ සමන් දෙවොල් තැන්පත් කිරීම මගින් ගල් පොත්තාවෙල පන්සලේ සිට සිරිපා මළුවට දේව ප්‍රතිමාව රැගෙන යයි.අනතුරුව අවට සිටින ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් පිළිමය රැගෙන යන රථය යන පෙරහරට පූජෝපහාර දක්වයි.මේ ආකාරයට දෙවියන්ගේ පිළිමය වැඩමවූවායින් පසුව සිරිපා කරුණා සමය ආරම්භ වේ.ශ්‍රී පාදස්ථානය වෙතට මාර්ග 6 කින් පමණ ළඟා විය හැකිය.එම මාර්ග ලෙස රත්නපුර-පලාපද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මූර්යයාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැකිය.මෙම මාර්ග 06 අතුරින් නල්ලතන්නි සහ පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
ශ්‍රී පාද මාර්ගය අතරතුර දී හඳුනාගත හැකි විශේෂ ස්ථාන |
- ශ්‍රී පාද වන්දනාකරුවන් සිරිපා මළුවට යාමට පෙර පසු කළ යුතු ප්‍රධාන ස්ථාන කිහිපයකි.ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට පටන් ගන්නා බැතිමතුන්ට මකර තොරණ ආරම්බයේදීම හමුවේ.මකර තොරණ ආසන්නයෙන් ශ්‍රී පාද අඩවිය ආරම්භ වෙයි.
මකර තොරණ |
- අනතුරුව හමුවන ප්‍රධාන ස්ථානය ශීත ගගුලයි.ශ්‍රී පාද මළුව පළමුවරට කරුණාකරන වැඩිහිටියන් දඩුකෝඩු ලෙසත් පොඩි ළමුන් කිරිකෝඩු ලෙසත් හඳුන්වයි.දඬුකෝඩු,කිරිකෝඩු සහ මීට පෙර සිරිපා කරුණාකර ඇති සියලු දෙනා සීත ගඟුල නම් ජලාශයෙන් මුහුණ කට සෝදා පිරිසිදු වී හිසේ දෙහි ගා ගැනීම චාරිත්‍රයක් ලෙස සිදුකරයි.
සීත ගඟුල |
- අනතුරුව හැරිමිටිපාන,ඉදිකටුපාන,ගෙත්තම්පාන ආදී ස්ථාන දැකබලා ගත හැකිය.ඉදිකටුපාන තුළ කෝඩු කාරයන්ගේ වැදගත් චාරිත්‍රයක් වේ.බුදුරජාණන් වහන්සේ සිරිපා පතුල පිහිටුවීමට යන අතරතුර උන්වහන්සේගේ සිවුර ඉරී එය මැසීම සිදුකොට ඇති ස්ථානය ගෙත්තම්පාන ලෙස හඳුනාගත හැකිය.අනතුරුව ධර්මරාජගල ඇහැලකනුව,මහගිරිදඹය ආදිය පසු කරමින් සිරිපා මළුව වෙත ළඟාවේ.ඇහැළ කණුව නමැති ස්ථානයෙන් මහගිරි දඹය ආරම්භවේ.සිරිපා මළුවට යන බැතිමතුන් සම්බුදු සිරිපතුල වන්දනයෙන් පසුව තමන් පැමිණි ගමන් වාර ගණන අනුව ඝණ්ඨාරය නාද කරයි.
ඉදිකටු පාන සහ උඩමළුවේ ඝණ්ඨාරය |
- රාත්‍රී කාලයේදී ශ්‍රී පාද කන්ද කරුණා කිරීම අපූර්ව අත්දැකීමකි.විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි.ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය.ඉර සේවය නමින් ජන වහරේ මෙය හඳුන්වන අතර කඳු මුදුනේදී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි.හිරු එළිය කඳු මුදුනට වැටි අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි.හිරු ඉහළට නැගීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.එය ඉර සේවය ලෙස හඳුන්වයි.මෙම අවස්ථාව නැරඹීම සඳහා බොහෝ ශ්‍රී පාද වන්දනාකරුවන් දැඩි උනන්දුවක් දක්වයි.
විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ ශ්‍රී පාද මාර්ගය |
- සිරිපා අඩවිය ජෛව ගෝල රක්ෂිතයක් ලෙසද ලෝක උරුමයක් ලෙසද නම් කොට ඇත.ශ්‍රී ලංකාද්වීපයටම ආශිර්වාදයක් ලබා දෙන උතුම් පුදබිමක් කිවහොත් නිවැරදිය.ශ්‍රීපාදස්ථානය සමන්තකූට,රත්නගිරි,ස්වර්ග රෝහණම් යන නම් වලින් ද හඳුන්වයි.
- අප විසින් ශ්‍රී පාදස්ථානය කරුණාකරන අතරතුරේදී නෙත ගැටුණු උතුම් ඡායාරූපයක් පහත දැක්වේ.කසාවත් පෙර වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් තම මෑණියන්ව සිරිපා පතුල වන්දනාවට ලක් කිරීමට ගන්නා උත්සාහයක් මෙමගින් පිළිබිඹු වේ.මෙම ඡායාරූපය අසීමිත මව් සෙනෙහස මෙන්ම සියලුම ජනතාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින්නා වූ අසීමිත ගෞරවය පෙන්වයි.
- අද වන විට පොලිතීන් වැනි නොදිරන අපද්‍රව්‍ය සහ බොහෝ පිරිස්ගේ නොමනා ක්‍රියාවලි හේතුවෙන් මෙම පරිසර පද්ධතිය විනාශ වීමට ලක්වී ඇත.ඒ බව ශ්‍රී පාද වන්දනා සමයේදී පැහැදිලිව දැක ගත හැකිය.ශ්‍රී පාද වන්දනාවට එකතුවන සෑම බැතිමතෙක්ම පරිසරය මෙන්ම ජෛව විවිධත්වයද ආරක්ෂා කර ගනිමින් සුන්දර ශ්‍රීපාද අඩවිය ආරක්ෂා කිරීමට වග බලා ගත යුතුය.
- අපි එහෙනම් සවාරියක් තුළින් ඉක්මණටම ලංකාවේ පිහිටා ඇති තවත් සුන්දර ස්ථානයක් එක්ක හම්බෙමු.මේ ලිපිය කියවපු ඔයාලා මේ ලිපිය ගැන පහළින් comment එකකුත් දාගෙන යන්න.
Content Writer-Lahiru Buddhika
ආශ්‍රිත මූලාශ්‍ර :-
- පසුගිය සිරිපා වන්දනා සමය තුළ සිරිපා කරුණා කිරීම මගින් හදුනා ගත් තොරතුරු
- "ශ්‍රී පාදස්ථානය" ග්‍රන්ථය
- "සිරිපා වතගොත" ග්‍රන්ථය
- පසුගිය සිරිපා වන්දනා සමය තුළ සිරිපා කරුණා කිරීම මගින් හදුනා ගත් තොරතුරු
- "ශ්‍රී පාදස්ථානය" ග්‍රන්ථය
- "සිරිපා වතගොත" ග්‍රන්ථය
1 Comments
Great One in Sri lanka 🇱🇰
ReplyDelete