GANGARAMAYA TEMPLE-ගංගාරාමය විහාරය

  •  අද අපි සවාරියක් තුළින් අරගෙන ආවේ කොළඹ බේරෙ වැව ආශ්‍රිතව පිහිටා ඇති අලංකාර බෞද්ධ සිද්ධස්ථානයක් පිළිබඳවයි.එය ගංගාරාම පන්සලයි.සංස්කෘතික උරුමයෙන් හා අද්විතීය ගෘහ නිර්මාණ ශිල්ප සම්මිශ්‍රණයකින් යුත් මේ විහාරය බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙයි.කොළඹ වැනි නාගරික ජනාකීර්ණ පරිසරයක තිබෙන හිතට සැනසිලිදායක වටපිටාවක් හෙබි මේ පන්සල වැඳපුදා ගැනීමට ලැබීමත් ඉමහත් වාසනාවකි.


ගංගාරාම විහාරස්ථානය


  • ගංගාරාම විහාර ඉතිහාසය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි කතිකාවත් දෙකක් ඇත.ඉන් එකක් වන්නේ 19 වන සියවසේ ප්‍රසිද්ධ නාවුක වෙළෙන්දෙක් වූ දොන් බැස්ටියන් මුදලි විසින් මාතර ශ්‍රී ධර්මාරාම නාහිමියන්ට විහාරස්ථානයක් ඉදි කිරීම සඳහා මෙම ඉඩම මිලට ගෙන විශාල වියදමක් දරා භූමිය සකස් කොට දාගැබ,මකර තොරණ සහ ප්‍රවිශ්ට දොරටුවේ සඳකඩ පහණ ඉදිකරන ලදී.ශ්‍රී මහා බෝධි අංකුරයක් වූ බෝධීන් වහන්සේ ද රෝපණය කොට ඇත්තේ ද මේ මුදලිතුමාය.තෙමහල් දම් සභයක් හා විහාරය වටා වැටක්ද ඔහු විසින් ඉදිකර ඇති බව සඳහන් වේ.අද වන විට ඒවා ප්‍රතිසංස්කරණය කොට ඇත.
  • සාම්ප්‍රදායික පන්සලකට වඩා වෙනස් ආකෘති සහිත වන්දනාමාන ස්ථාන රැසක් දැකිය හැකිය.විහාර මන්දිරය,ධාතු මන්දිරය,කෞතුකාගාරය,නේවාසික ශාලාවක්,තෙමහල් පිරිවෙන්,අධ්‍යාපන ශාලා,දාන ශාලා ආදිය මෙම පරිශ්‍රයේ වේ.නමස්කාර ස්ථානයක්,ඉගෙනීමේ ආයතනයක් හා සංස්කෘත මධ්‍යස්ථානයක් මෙහි වීම සුවිශේෂීය.මෙම විහාර සංකීර්ණයේ ඇවිද යන විට වඩා ආකර්ෂණීය කැපී පෙනෙන හින්දු දෙවිවරුන්ගේ පිළිම,විවිධ කලාත්මක ශෛලි වලින් යුත් ප්‍රතිමා ආදිය දැකගත හැකිය.පිළිම ගැන විමසීමේදී ඒවා තායිලන්තය,මියන්මාරය,චීනය,ජපානය ආදී රටවල් වලින් ගංගාරාම විහාරස්ථානයට පරිත්‍යාග කොට ඇති බව හඳුනාගත හැකිය.

විහාරස්ථානයේ දක්නට ඇති විවිධ ස්වරූපයේ බුද්ධ ප්‍රතිමා

  • විහාරයේ වාස්තු ලක්ෂණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනුණද ඉන්දියානු,තායිලන්ත සහ චීන රටවල වාස්තු ලක්ෂණ දැක ගත හැකිය.විහාරයේ ඇතුල් වන තැන්හිම රන් බුද්ධ ප්‍රතිමා දෙකක් දක්නට ලැබේ.දේව මාලිගාවේ පිටත අලංකාර මෝස්තර සහ රන්වන් සැරසිලිවලින් සැරසී ඇති අතර බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් ඒවා මඟින් නිරූපණය කරයි.දේව මාලිගයේ ප්‍රධාන භූමියේ දේව ප්‍රතිමාවලින් වට වූ භාවනා ඉරියව්වෙන් යුත් දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබේ.විචිත්‍රවත් පැස්ටල් සිතුවම් වලින් විස්මිත ශාලාවේ මැද ඇති සිවිලිම මත බෞද්ධ කතා නිරූපණය කිරීම දැක ගත හැකි අතර නරඹන බොහෝ දෙනෙක්  ඒ සඳහා ආකර්ෂණීය කරවයි.

බුද්ධ චරිතය නිරූපණය කෙරෙන කැටයම්


විහාරයේ දක්නට ලැබෙන සුවිශේෂී ස්ථාන 

ධාතු මන්දිරය 

  • අලි ඇතුන් හා හංසයන්ගේ සංකීර්ණ ලී කැටයම් වලින් යුත් ශිල්පීය ආකෘතියකින් මෙය නිර්මාණය කොට ඇති බව දක්නට ලැබේ.මෙහි තැන්පත් කොට ඇති ධාතූන් පිළිබඳ නාහිමි නමකගෙන් ගත් තතු අනුව සීවලි මහරහතන් වහන්සේ ඇතුළු බුද්ධ ශ්‍රාවක කිහිපදෙනකුගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති බවත් බංග්ලාදේශයෙන් පරිත්‍යාග කරන ලද සර්වඥ ධාතූන් වහන්සේලාද ඇති බව පවසන ලදී .ධාතු කුටියට දකුණු පසින් දිවයිනේ කුඩාම බුද්ධ ප්‍රතිමාව දක්නට ලැබේ.පෞරාණික බුදුපිළිම,ධාතුන් වහන්සේලා රැසක් මෙහි තැන්පත් කොට තිබේ.


සමාධි බුද්ධ ප්‍රතිමාව  

  • අනුරාධපුර ඉදිකොට ඇති සමාධි බුද්ධ ප්‍රතිමාවේ සියලු ලක්ෂණ ඇති සමාධි ප්‍රතිමාවක් මෙහි දක්නට ලැබේ.

කෞතුකාගාරය

  • ගංගාරාම විහාරස්ථාන කෞතුකාගාරය එහි වර්තමාන නායක හිමිපාණන්ගේ මුලිකත්වයෙන් වාස්තු විද්‍යා සැලසුම් මහාචාර්ය සදෙව් විට්ටච්චි මහතා සහ මුසජී මහත්මිය විසින් නිර්මාණය කරන ලද්දකි. ශාලා කිහිපයකින් සමන්විත මෙහි පළමු කොටසේ පෞරාණික එකතු කිරීම් සමඟ බුද්ධ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් එක පෙලට තැන්පත් කර ඇත. එහි සිවිලිම අලංකාර සිතුවම් වලින් සමන්විත වන අතර කළුවර ලීයෙන් නිමවූ මේස,පුටු සහ ශෛලමය ප්‍රතිමා කිහිපයක් දැකිය හැකි. ලීයෙන් නිමවා ඇති කෞතුකාගාරයේ ඉහල මහලේ බුදුදහම හා ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතියට සම්බන්ධ කෞතුක වස්තු සහ උපකරණ වලින් පිරී ඇත. කෞතුකාගාරයේ අනෙක් කොටස ඇත්තේ ධාතු මන්දිරයේ දකුණු පසට වන්නටයි. එහි ක්‍රි.පූ.03 වන සියවසේ සිට ක්‍රි.ව.13 වන සියවස් දක්වාත්, මහනුවර හා නුතන යුගය දක්වා බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ පිලිබිඹුවක් දැකිය හැකිවේ. මෙහි ඉපැරණි ඇත් දළ, ලී කැටයම්,ලෝකඩ සහ රත්‍රන් වැනි ලෝහවලින්, ශිලාමය හා දැව වලින් සාදන ලද විවිධ ඉරියව්වලින් යුත් වර්ණවත් බුද්ධ ප්‍රතිමා, පැරණි ඔරලෝසු, පුස්කොල පොත් ආදීය තැන්පත් කොට ඇත.

කෞතුකාගාරයේ දක්නට ලැබෙන ඉපැරණි ඇත් දල,පැරැණි කාසි,මුදල් නෝට්ටු,පැරණි ඔරලෝසු


සීමා මාලකය 

  • බේරේ වැවී ඇති සන්සුන් ජලය මත මෙය ඉදිකොට ඇත.මෙය ඉන්දියානු,ශ්‍රී ලංකා සහ චීන මෝස්තරවල සම්මිශ්‍රණයකි.සීමා මාලකය නිර්මාණය මුස්ලිම් ආධාරකරුවකුගේ ආධාරයෙන් ද යුක්තව නිර්මාණය කොට ඇත්තේ ජෙෆ්රි බාවා විසිනි.ගංගාරාම විහාරයට 200m පමණ දුරින් ජලය මත වේදිකා තුනක් ඉහළට නංවා ඇති අපූරු නිර්මාණයක් දැක ගත හැකිය.පළමු, මධ්‍යම වේදිකාවේ ලී බිත්තිවලින් වට වූ භාවනා කාමරයක් ඇති අතර එහි ප්‍රබුද්ධ ආගමික චරිතයේ ජේඩ් ප්‍රතිමාවක් ඇත. විහාරස්ථානයේ පරිධිය වටා විවිධ මුද්‍රා සහ හින්දු දෙවිවරුන් සමග රන් බුද්ධ ප්‍රතිමා වලින් සමන්විත වේ. මෙහි දකුණට ඇති වේදිකාව අමුත්තන්ට තහනම්ය. එහි භික්ෂූන් වහන්සේලාට පමණක් ප්‍රවේශ විය හැකි වැදගත් බෞද්ධ ග්‍රන්ථ තබා ඇත.

බේරේ වැව මත වූ සීමා මාලකය හා බේරේ වැවට මායිම්ව ඉදිවී ඇති ගංගාරාම විහාරය


  • අපි එහෙනම්  සවාරියක් තුළින් ඉක්මණටම ලංකාවේ පිහිටා ඇති තවත් සුන්දර ස්ථානයක් එක්ක හම්බෙමු.මේ ලිපිය කියවපු ඔයාලා මේ ලිපිය ගැන පහළින් comment  එකකුත් දාගෙන යන්න.


Content writer- Lahiru Buddhika


ආශ්‍රිත මූලාශ්‍ර:-

  • විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ එහි වැඩ සිටින නා හිමි නමකගෙන් විහාරය පිළිබඳ ලබා ගත් තොරතුරු

  • විහාරස්ථානයේ කෞතුකාගාරයේ ලේඛනවල සඳහන්ව තිබූ තොරතුරු






Post a Comment

0 Comments