මන්දිරයේ ඉදිරිපස
        
මන්දිරයේ පිටුපස

මන්දිරයේ නිර්මාතෘ-දොන් ආතර් ද  සිල්වා මහ මුදලි තුමා


                    අපි මීළඟට "සවාරියක්" තුළින් සොයා ගියේ ගෘහ නිර්මාණ ශිල්පය අතින් මෙරට ඇති වැදගත්ම පෞරාණික ස්ථානයක් පිළිබඳවයි.මෙය කළුතර පිහිටි රිච්මන්ඩ් කාසල් මන්දිරයයි.බොහෝ ලාංකේය ජනයා නොහඳුනන,දැක නොමැති දීර්ඝ ඉතිහාසයක් ඇති සුවිශේෂී ස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකිය.ජීවිතයේ අප සතු වටිනාම වස්තුව දරුවන් බව පසක් ‌කරමින් ඉදිකෙරූ සුවිශේෂී ස්ථානයක් ලෙස කාසල් මන්දිරය හැඳින්විය හැකිය. මහමෙරක් තරම් වටිනා වස්තුන් හෙබි දොන් ආතර්  ද සිල්වා  පඩිකාර මහමුදලි තුමා දරුවන් නැති සොවින් මෙම මන්දිරය ඇතුළු සියළුම වස්තුන් දන් දෙන ලදි.
                           
                          බ්‍රිතාන්‍ය ලංකාවේ සිටි මහමුදලිවරයෙකු වූ එන්. ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධනගේ මාලිගය රිච්මන්ඩ් කාසල් නම් වේ.සිරිවර්ධන මුදලිගේ පියා පරාක්‍රම රජ පෙළපතට නෑකම් කියන පවුලිස් ද සිල්වා මුදලිතුමාය.මව ඉසබෙලාද සිල්වා වේ.සිරිවර්ධන මුදලි සහ තම සහෝදරයා කුඩා කළ සිටම අධ්‍යාපනය හැදෑරීමට එංගලන්තයට ගොස් ඇත.පසුව සිරිවර්ධන මුදලි ලංකාවට පැමිණෙන්නේ ඉතාමත් දැන උගත් පුද්ගලයකු ලෙසිනි.සිරිවර්ධන මුදලි නම් මෙහි නිර්මාතෘවරයාට එංගලන්තය ඇතුළු ප්‍රබල රටවල් රැසක රාජ්‍ය නායකයින් සමඟ මිත්‍ර සබඳතා පැවති ඇත.

                      බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පලාතොට නම් ග්‍රාමයේ අක්කර 42 ක භූමිභාගයක ඉදිකොට මෙම මන්දිරය ඉදිකොට ඇත.ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂයෙන් මෙය ඉදිකොට ඇත.මෙම මන්දිරය ඉදිකිරීම සඳහා යොදාගත් බොහොමයක් අමු ද්‍රව්‍ය විදේශ රටවලින් ආනයනය කළ ඒවා වේ.මෙම මන්දිරය ඉදිකිරීම සඳහා යොදාගත් දැවමය නිෂ්පාදන බොහොමයක් බුරුම තේක්ක ලීයෙන් නිමවා ඇත.බිමට අතුරා ඇත්තේ ඉතාලියෙන් ආනයනය කරන ලද කිරි ගරුඩය.මෙම මන්දිරයේ මුළු කාමර 14 ක් වන අතර රංගශාලාවක්,බැල්කනියක් මැද මිදුලක් පවතී.ඒ වාගේම මන්දිරය ගොඩනැගූ දවසේ සිට අද වන තෙක්ම කිසිදු පළුදුවකට ලක් නොවූ පඩි පෙළක් හඳුනාගත හැකිය.මෙය ඉහළ මහල උදෙසා ගමන් කිරීමට යොදා ගෙන ඇත.මෙය ඉදිකොට ඇත්තේ චීනචට්ටි නම් ශක්තිමත් මූලද්‍රව්‍යයන්ගෙනි.ඒ වගේම උලුවහු 99 ක්ද ජනෙල් 38 ක්ද පවතී.මෙම මන්දිරය වර්තමානයේ ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ පවතී.


උඩුමහලට ගමන් කිරීමට උදෙසා තිබූ චීනචට්ටි පඩි පෙළ


                   

සෞන්දර්ය කටයුතු සඳහා යොදාගත් රංග ශාලාව


                        සිරිවර්ධන මුදලි වරක් ඉන්දියාවේ සිදුකල සංචාරයකදී තම මිත්‍ර මහාරාජාගේ මන්දිරය දැක ඒ පිළිබඳව සිත් ඇතිවීම මෙම මන්දිරය ඉදිකිරීමට හේතු පාදක වී යැයි තොරතුරු සඳහන් වේ.එහිදී තම මිත්‍ර මහාරාජාගෙන් සිරිවර්ධන මුදලිතුමා මෙම මන්දිරයේ සැලැස්ම ඉල්ලා තිබේ.නමුත් ඒ අවස්ථාවේදී මහාරාජා "ලංකාවේ ඔබට මෙවැනි මන්දිරයක් සැකසීමට නොහැකි  යැයි" පවසා විහිළු කර ඇත.එයින් කම්පාවට පත් වූ සිරිවර්ධන මුදලි විසින් ගෘහ නිර්මාණ ශිල්පීන්ව ඉන්දියාවට යවා හොර රහසේම මන්දිරයේ සැලැස්ම සැලසුම් කර ගෙන එන ලෙස අණ කරන ලදී.ඒ ඔස්සේ ඉදිකරනු ලැබූ මෙම රිච්මන්ඩ් කාසල් මැදුරෙහි ගෙවැදීම, ආතර් ද සිල්වා විසින් 1910 වර්ෂයේ මැයි 10 වන දින පැවැත්වූ සිය විවාහ මංගල්‍යය සමගම සිදුකරන ලදී.මෙම උත්සවයන්ටද ඉන්දියාවේ තම හිතමිතුරු මහාරාජාට ආරාධනා කොට ඇත.ඔහු මෙම මන්දිරය දැක විමතියට පත් වූ බව මූලාශ්‍රවල සඳහන් වේ.සිරිවර්ධන මුදලිගේ බිරිඳ මහනුවර රදල පවුලක දියණියක් වන ක්ලැරිස් මෝට් මැටිල්ඩා වේ.

                    වර්ෂ 31 ක් දරුවන් නොමැතිව සිය මැතිණියද සමග රිච්මන්ඩ් කාසල් හී දිවි ගෙවූ ආතර් ද සිල්වා 1941 ජූලි මස 4 වැනි දිනදී නොතාරිස් එස්. ජේ. එස්. කදිරගාමර් ඉදිරිපිටදී අත්සන් කොට, රිච්මන්ඩ් කාසල් ඇතුළු තමා සතු සියළු වත්කම් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතට පවරා දෙන ලදී. ඒ මෙම මන්දිරය ඔහුගේ ඇවෑමෙන් අනතුරුව අනාථ දරුවන් වෙනුවෙන් රැකවරණය සලසන ස්ථානයක් බවට සහ අනෙකුත් වතුපිටි වල ආදායම එම දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වෙන්විය යුතු බවට අවසන් කැමැත්ත ප්‍රකාශ වන පරිදිය.

                 දරුවන් වෙනුවෙන් ම ඉදිකොට ඇති මෙම මන්දිරයේ ඉහල මළුව අත්වැට ඉදිකොට ඇත්තේ මහත් වූ උසකිනි.ඒ තමාට කවදා හෝ දරුවන් ඉපදුණහොත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සිතමිනි.පිරිමි දරුවන් ‌ ගැන මහත් කැමැත්තකින් හෙබි මෙතුමා එම උද්‍යානයේ පිරිමි ළමුන්ගේ ප්‍රතිමා අඹවා ඇත්තේ මන්දිරය දෙස බලා සිටිනා අයුරින් වන අතර ගැහැණු ළමුන්ගේ ප්‍රතිමා ඉදිකොට ඇත්තේ මන්දිරය‌‌ට හිස  නවා ඇති අයුරිනි. කාන්තා රූප පමණක් දැකගත හැක්කේ මන්දිරයට පිටුපා ඇති අයුරිනි.මෙය "ලංකාවේ ටජ් මහල" ලෙසින් ද ඇතැම් මූලාශ්‍රවල සඳහන් වේ.

එළිමහනේ ඉදිකොට ඇති පිරිමි ළමුන්ගේ,ගැහැණු ළමුන්ගේ සහ කාන්තා ප්‍රතිමා


            අවසාන කල සිරිවර්ධන මුදලි මහත් දුකින් කල් ගෙවූ අතර බිරිඳව දෙමව්පියන් අසලට ගෙන ගොස් භාරදී එතුමා අවසාන කාලයේ මහනුවර queens හෝටලයේ 75 වන කාමරයේ කල් ගෙවූ බව දැක්වීය.1947 ජූලි 8 වන දින එතුමා මිය ගොස් ඇති බව සඳහන්වේ.

                  මෙම මන්දිරය මෑත කාලීනව චිත්‍රපට තිරගත කිරීම් සඳහා භාවිතා කරයි.පසුගිය කාලයේ තිරගත වූ "සරිගම" චිත්‍රපටයේ කුඩා ළමුන් පිරිසක් දැවමය පඩිපෙළක සිට ගීතයක් ගායනා කරයි. මෙම මන්දිරයේ උඩුමහලට ගමන් කිරීමට ඇති දැවමය පඩිපෙළයි.

       
සරිගම චිත්‍රපටයේ රූගත කිරීම සඳහා යොදාගත් දැවමය පඩිපෙළ


අපි එහෙනම් "සවාරියක්" තුළින් ළඟදීම අලුත් තැනක් එක්ක හම්බෙමු.මේ ලිපිය කියවපු ඔයාලා මේ ලිපිය ගැන පහළින් comment එකකුත් දාගෙන යන්න.


References:-

  • මන්දිරය රැකබලා ගැනීම උදෙසා මන්දිරයේ සිටින පුද්ගලයෙකුගෙන් මේ පිළිබඳව විමසා ලබාගත් තොරතුරු

  • මන්දිරයේ ඇති පැරණි ඡායාරූප

  • අන්තර්ජාලය